வகைப்படுத்தப்படாத

මදුරු කීටයන් බෝ වන ස්ථානවල නම් ප්‍රසිද්ධ කර නීතිමය පියවර

(UTV | කොළඹ) –  කොළඹ නගර සීමාව තුළ පමණක් ඉදිකිරීම් පරිශ්‍ර 500 ක් පමණ ඇති අතර එම පරිශ්‍ර මදුරුවන් බෝවීමෙන් තොරව පවත්වා ගැනීම සඳහා සියලුම කොන්ත්‍රාත්කරුවන් වෙත විශේෂ උපදෙස් ලබා දී ඇතැයිද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා සදහන් කරයි.

දැනට පවතින ඩෙංගු අවදානම් තත්වය සහ එය මැඩලීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

නිවාස වලට අමතරව පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර සහ කර්මාන්ත ශාලා ඩෙංගු මදුරුවන් බෝ වීමේ වැඩි අවධානම් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර දිගින් දිගටම මදුරු කීටයන් බෝ වන සේ එවැනි පරිශ්‍ර පවත්වාගෙන ගියහොත් එම ආයතන වල නම් ප්‍රසිද්ධ කර නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෝසම් වැස්ස සක්‍රීය වීමත් සමඟ පසුගිය වසර වල මෙන් මෙවරත් ‍ජූනි සහ ජූලි මාස වලදී ඩෙංගු රෝගය යළි හිස ඔසවා ඇති අතර දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්ථාවීමේ සැලකිය යුතු ඉහළයාමක් මේ වන විටත් පෙන්නුම් කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල ,මාතර, හම්බන්තොට,රත්නපුර , කෑගල්ල සහ මහනුවර ඩෙංගු අවදානම වැඩි දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇත.

ඩෙංගු මදුරුවා වඩාත් සක්‍රීය වන්නේ පෙරවරු 6.00 සිට 11.00 දක්වාත්, පස්වරු 3.00 සිට 7.00 දක්වාත් කාලය තුල බැවින් මදුරු දෂ්ටයන් අවම කර ගැනීම සඳහා අත් පා ආවරණය වන සේ ඇඳුම් ඇඳීම, මදුරු විකර්ශක ආලේප කිරීම වැනි ක්‍රම අනුගමනය කල හැකියි.

සොෆෙල් ක්‍රීම්,සොෆෙල් ඉසින,මොසෝ සහ මිනෝ 8 යන වෙළඳ නාම සහිත මදුරු විකර්ශක ගෘහස්ථ භාවිතය සඳහා සුදුසු බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් අනුමත කර ඇත.

දාස්පෙතියා, සේර වැනි පැළෑටි මදුරුවන් ඇති වීම පාලනය කල හැකි පැළෑටි ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති අතර පාසල අවට පන්ති කාමරය අසලද එවැනි පැලෑටි වැවීම ප්‍රවර්ධනය කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් සහ පෝෂණ ශාකාවේ අධ්‍යක්ෂ රේණුකා පීරිස් මහත්මිය පැවසුවාය.

තවද ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර දිවයිනේ සියලු පාසල් පරීක්ෂාවට ලක්කර පාසල සුරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට උපදෙස් ලබා දී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

අබ්දුල්ලා යළි රිමාන්ඩ්

இலங்கை கடற்படை உதவியுடன் புனித அந்தோனியார் ஆலயத்தின் வருடாந்த உற்சவம்

200 கோடி ரூபா நிதி ஒதுக்கீட்டில் காலி எல்பிட்டி ஆதார வைத்தியசாலையில் நோயாளர் விடுதி;